Kadawara Yahana -  බෞද්ධ නාථ සංකල්පය

 බෞද්ධ නාථ සංකල්පය

  වසර දෙසීයකට පමණ පසුව සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් ඉතා තීරණාත්මක අවස්ථාවකට පැමිණි තිබේ.ඉංග්‍රීසීන් හට ලංකාව ගිවිසුමකින් භාර දුන් පසු බුද්ධ ශාසනයට එළඹි අභියෝග වලට වඩා භයානක උවදුරු වලින් සමන්විත කාලවකවානුවක් පසු කරමින් තිබීම පිළිබඳව අවබෝධයක් මේ රටේ ජනතාවට පමණක් නොව මහා සංඝරත්නයට පවා අතැයි නොසිතමි.එක් අතකින් ඉස්ලාම් මූලධර්මවාදීන් ගේ අසිපත් ජනතාව ඉදිරියේ අමෝරාගෙන ඇත. අනෙක් පසෙකින් ඇමරිකන් යටත් විජිතවාදීන් ගේ කුමන්ත්රණ වලින් රටේ ජාතික ආරක්ෂාව බරපතල ලෙසට කඩා වැදී තිබේ.රටේ නායකයෙක් නැත. එකවර සූර්යයන් දෙනෛකු පායන්නට ගොස් චීන එළියපෙට්ටියක ආලෝකය  ගානට පාලකයන්ගේ රැස් පහළ බැස තිබේ.

       මෙම විපරීත කාලවකාවානුව දෙස බැලිය හැකි වන්නේ විශ්මයෙන් නොවේ. සමාජයට මරණ බිය දැනුනද ඉතිහාසයේ බොහෝ අවස්ථාවන්හිදී මෙලෙසම මෙවැනි ප්‍රවණතාවයන් ජාතියක් වශයෙන් මුහුණ දී ඇත්තෙමු. ඒවාට අභීතව උපක්‍රමශීලීව මුහුණ දෙමින් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමේ භාරදූර  වගකීමද ඉටුකර ලීමට දායක වී ඇත. එසේ නම් මග පෑදී ඇත්තේ කෙලෙසකදැයි අප කල්පනාකළ යුතුය. රටක හරිහමන් පාලකයෙකු නොමැති විටකදී බුද්ධ ශක්තිය විහිදුවන දේව බැල්ම අහකට යයි. රටේ සම්ප්‍රදාය අනුව දසදෙස විහිදී තිබූ ශක්තීන් ගේ ප්‍රභාවයන් අඩුවෙයි. ප්‍රාතිහාර්යයන් යටපත් වෙයි. අද සිදුව ඇත්තේ එයයි.

        හත්වන සියවසේ අනුරාධපුර සමයේ දී ද්‍රවිඩ ආක්‍රමණයන් නිසා දෙවන කාෂ්‍යප රජුගේ පුත් මාන කුමරු ඉන්දියාවට පැන ගොස් පල්ලව දේශයේ නරසිංහ වර්මන් රජුගේ රාජ සභාවේ සෙන්පතිවරයෙකු ලෙසට සේවය කරමින් සිට නිසි කල පැමිණි කල්හි බලසෙන් ගෙන ලංකාවට පැමිණ දෙමළුන් පන්නවා හැර රට නිදහස් කරගත් ආකාරය ඉතිහාසයේ සඳහන්ව තිබේ. මේ රජුගේ කාලයෙන් පසු ලංකාවේ මහායාන අදහස් වේගයෙන් ප්‍රචලිත වන්නට විය.මාන කුමරුන් විසින් ආභාෂය ලබන ලද මහායාන බෞද්ධ සංකල්පයන්  අනුරාධපුර රාජධානිය අවට ප්‍රචලිත පැතිරුණි. එතැන් පටත් දළදා වහන්සේ වැඩ සිටි සෑම තැනකම නාථ දෙවියන් වැඩමවීම දක්නට ලැබිය හැකිය. අනුරාධපුර පොළොන්නරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල පමණක් නොව ගම්පළ රයිගම සහ කෝට්ටේ මෙන්ම සෙංකඩගල මහනුවර දළදා මන්දිරය අසලින් නාථ දේව මන්දිරයක් ගොඩ නැන්වී තිබුණි.එසේ නැතහොත් දළදා වහන්සේ සහ නාථ ප්‍රතිමාවන් එකම ස්ථානයක් තැන්පත් කරන ලදහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 බෞද්ධ නාථ සංකල්පය ශාරි පුත්‍රය නම් වාස්තු විද්‍යා ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේය.

     දවිභූජං ශෙවත වර්‍ණණඤච -අභයං වරදං තථා

     අක්ෂ මාලා කිරීටඤච -ශෙවතාඞගං ස්‍යාම වස්ත්‍රකම්

     පද්මාසනං තථා වාපී -බෞද්ධ නාථස්‍ය ලක්ෂණම්

බෞද්ධ නාථ සංකල්පයට මුල් වන්නේ බෝධිසත්ව සංකල්පයයි. ජාති ජරා මරණයනට භාජනව සසර සැරි සැරීමෙහි කලකිරී පාපයන්ගෙන් තුරන්ව පාරමිතා පූරණයෙන් හා අසූසාර දහසක් ධර්ම ස්කන්ධයන්ගේ හේතුවෙන් බෝධිය සොයමින් සකල පුණ්‍ය සම්භාරයන් රැස් කරන්නේ බෝධිසත්ව චිත්තයයි.බෝධි චිත්තයේ දී ප්‍රධාන වන්නේ කරුණාව සහ ප්‍රඥාවයි.(ලංකාවේ මහායාන අදහස් ) මහායාන බුද්ධ ධර්මයේ හැටියට සියලුම සත්වයන් විමුක්ති මාර්ගයට ප්‍රවිෂ්ට වීම සඳහා බෝධිසත්ව පාරමිතාව පිරිය යුතුය. බෝධිචිත්තය වර්ධනය කරගත යුතුය. නාථ මෛත්‍රී ක්ෂිති ගර්භ ආකාශ ගර්භ වජ්‍රපානී ආදී වශයෙන් බෝධිසත්වවරු  රාශියක් පිළීබඳ සංකල්පනා ලංකාවේ දක්නට ලැබෙන්නේ මේ නිසාය. බුදුරුවගලදී ලෝකේශ්වර නාථ තාරා දේවී මෛත්‍රී යන බෝධිසත්ව ප්‍රතිමා සියල්ල එක් ස්ථානයක දක්නට ලැබේ. කරුණෑගල රත්කැරැව්වෙන් හමුවන වජ්‍රපානී බෝධිසත්ව ප්‍රතිමාව නව වන සියවසට අයත්ය. දාහතර වන සියවසේ දී යාපහුවේ සිට කුරුණැගලට දළදා වහන්සේ වැඩම කරන කල්හි මෙම ස්ථානයේ රත් කෑර ගසක දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පා තිබේ. අනුරාධපුර වෙහෙරගලින් ලැබෙන රාජ ලීලාව නිරූපිත නාථ ප්‍රතිමාව විශිෂ්ට කලා කෘතියක් ලෙසට සැලකේ.  මහනුවර නාථ දේවාලයේ දී දක්නට ලැබෙන්නේ මෙවැනි ප්‍රතිමාවකි. වේගිරියේ නාථ දේවලයේ මීට සමාන ප්‍රතිමාවක් දක්නට හැකිය. අටවන සියවසට අයත් තිරියාය අවලෝකිතේශ්වර නාථ පිළිමය හා සමානව වර්ධනය වූ බෝධිසත්ව ප්‍රතිමා දඹුල්ලේ ලෙන් තුළ පවතින මනරම් නාථ ප්‍රතිමාව දක්වා විකාශනය වී ඇත.

         කෙසේ වෙතත් මහායාන සංකල්පයක් වූ බෝධි සත්ව සංකල්පය ථෙරවාදී රටක් වූ සිංහලද්වීපයට වැද්ද ගනු ලබන්නේ රජවරුන් ගේ ධාර්මික බව රෝපණය කරන්නට යැයි සිතමි. රජු බෝධිසත්වයෙකු විය යුතු යැයි දශ රාජ ධර්මයෙන් රට පාලන කළ යුතු යැයි පිළි ගැනීමත් මේ නිසා ඇති විය. රජු ගේ අභිෂේක මංගල්ලයේ දී අනුගමනය කරනු ලබන මෙම චාරිත්‍ර යෙන් පෙන්නුම් කරනුයේ නාථ දේව සංකල්පය තුළින් රෝපණය කරනු ලබන දෙවත්වයට රජුන් යටත් වූ ආකාරයයි.

රාජ කුමාරයෙකු රාජ්‍යත්වය පිණිස නිර්දේශ කළ පසු සිය රාජකීය ඥාතීන් සමග නාථ දේවාලයේ දිග්ගෙය ඔස්සේ නාථ දෙවි වන්දනය සඳහා ප්‍රවිශ්ෂ විය යුතුය. දිග්ගෙය පුරාවටම අතුරා ඇති දෙහි ගෙඩි  උඩින් ඔහු ගමන නොවැටී යා යුතුය. එහිදී රාජකීය ඥාතීන්ගේ අතින් අත අල්ලා ගෙන එම ගමනට එක් නූනහොත් රජුගේ සමබරතාවය පවත්වා ගෙන යා නොහැකි වෙයි. රජු එම චාරිත්‍ර යෙන් හික්මීමකට පත් වේ. අවසානයේ නාථ දේවාලය ඇතුලත කරන අභිෂේකයේ දී නාථ දෙවියන්ගේ රාජ ලීලාව රජතුමාට ආරෝපණය කරලීමට අභිනව අභිධානය නාථ දෙවියන්ගේ ශිර්ෂයෙන් රජු ගේ ශීර්ෂය වෙතට වඩම්මනු ලැබීම සිරිත වේ. එය පුරාණයේ දී ඉටු කෙරුණේ මෙසේය. නාථ දේව ප්‍රතිමාව ඉදිරපිට තිබූ ගල් ලෑල්ල මතට රජ කුමරු නන්වනු ලැබේ. පරම්පරා ගත නමක් හෝ තමන් කැමති අනෙක් රාජ නාම කීපයක් හෝ රන් පත් ඉරු වල ලියා නාථ දෙවියන් අත මත තබනු ලැබේ. ස්වල්ප වේලාවක් ගත වූ පසු එයින් එක් නාමයක් ගෙන නළල් පටේ තබා බැඳ ඉන් පසු රජ කිරුළ හිස පළඳී.

      ලංකාවේ රජ කිරුළ දැරීමට දළදා වහන්සේ ගේ  උරුමය ලැබිය යුතුය.එසේ වන්නට නම් දළදාවාසික පරපුර වූ දන්ත හේමමාලා කීරවැල්ල පරපුරෙන් කුමරියක් අග බිසව වශයෙන් පත් විය යුතුය.කුමරියගේ පියාණන් හෝ සහෝදරයා දළදා වහන්සේ භාර දාඨා රක්ඛක නිලමේ වශයෙන් සිටිය යුතු අතර නාථ දෙවියන් ඉදිරියේ පෙර පරිදි දිව්රුම් දිය යුතුය. මෙම සිරිත කිත්සිරි මෙවන් රජ දවසෙන් පසු අඛණ්ඩව සෙංකඩගල රාජධානි සමය දක්වාම පැවත පැමිණියේය. නමුත් රජ උරුමයක් නොතිබූ සෙනරත් රජු බිසවක් වශයෙන් කීරවැල්ල පරපුරෙන් කුමරියක් නොලැබීම නිසා කෝපයට පත් දළදා වාසික පරපුරෙන් දළදා භාරකාරත්වය ඉවත් කොට එම පරපුරට ඥාතීන් වූ භික්ෂූන් වහන්සේලා වෙත පවරන ලද්දේය. රඹුක්වැල්ලේ පරපුර සහ වාරියපොළ සුමංගල යති පරපුර විසින් දළදා භාරකාරිත්වය දරනු ලැබූයේ එලෙසය. ඉන්පසු කාලයේ දී සිංහල රජකිරුළ නායක්කර් පිරිසක් අතට පත් වෙයි. ඔවුහු දකුණු ඉන්දීය වඩුගයන් බවද කිසිම රාජ උරමයක් නොමැති බවද සඳහන් මූලාශ්‍රයන් කීපයක්ම ඇත. මේ කියන කාලයේ දී නාථ දෙවියන් පරාජයට පත් කොට පිටියේ දෙවියන් බලට පත්ව ජන ඇදහීම් අතරද රජවරුන්ද අතරද මහේශාක්‍ය ලෙසින් වැජඹෙන්නට පටන් ගත් බව කියැවේ. මේ නිසා නාථ දෙවියින් සතු ශක්තිය ලෞකික ජීවිතයේ සශ්‍රීක්තවයට ආරෝපණය වූ අතර රජවරුන් අතර සම්භාවනාවට පාත්‍රව රාජ ලීලාව අතුරුදහන් විය. එසේම නාථ දෙවි යනු මතුබුදුවන මෛත්‍රී බෝධිසත්වයන් ලෙසටද ඇදහීමක් ජනතාව තුළ ප්‍රචලිතව පවතී. නාථ දෙවියන් පරදා පිටියේ දෙවියන් බලයට පත් වීම ලංකාවට එරෙහිව ගොඩ නැගුණු ශාපකාරී ප්‍රවේශයක් බව ප්‍රඥාවන්තයන් ගේ මතයයි. වසර තුන්සීයයකට ආසන්න කාලයක් තිස්සේ මේ ශාපය බල පැවැත්වෙමින් පවතී.

නාථ දෙවියන්ට ඉතිහාසයෙහි හා සාහිත්‍යයෙහි හිමි තැන

පසුගිය දිනවල මෙරට වැඩිපුර ම කතාබහට ලක්‌ වූ දෙවියන් වූයේ නාථ දෙවියන් බව අප කවුරුත් දන්නා කරුණකි. ඒ අනෙකක්‌ නිසා නො ව රජරට වකුගඩු රෝගයට හේතුව සොයා යැම සඳහා කරන ලද්දා වූ පරීක්‌ෂණයක්‌ සඳහා කැලණිය විශ්වවිද්‍යාලීය පර්යේෂණ කණ්‌ඩායමට මුල් ම හෝඩුවාව ලබා දුන්නේ නාථ දෙවියන් නිසා ය.

නාථ දෙවියන් ගැන දන්නා අය සෑහෙන පිරිසක්‌ මෙරට බොහෝ කාලයකට පටන් සිටිය ද උන්වහන්සේ ගැන ජනමාධ්‍ය තුළින් විශේෂයෙන් කතා බහට ලක්‌ වීම ආරම්භ වූයේ අදාළ පර්යේෂණය ගැන හෙළි කිරීමත් සමග බව කිව යුතු ය. එනමුත් තවමත් ඇතැම් පිරිස්‌ නාථ දෙවියන් ගැන එතරම් විස්‌තරයක්‌ නො දන්නා බැවින් අප ගේ දැනුමේ සහ අවබෝධයේ හැටියට උන්වහන්සේ ගැන සටහනක්‌ තැබීම මේ ලිපියේ අරමුණයි.

නාථ දෙවියන් බෞද්ධ පදනමක්‌ ඇති සම්‍යක්‌දෘෂ්ටික දෙවි කෙනකු ලෙස හැඳින්විය හැකි ය. උන්වහන්සේ ගේ බුද්ධශාසනයට ඇති සම්බන්ධය දැක්‌වීම සඳහා විශේෂයෙන් අපට මතක්‌ කළ හැක්‌කේ මහනුවර දළදා මාළිගාව අසල පිහිටා ඇති නාථ දේවාලය සහ එම නාථ දේවාල භූමියයි. මහනුවර දළදා මාළිගාවේ තැන්පත් කර ඇති දළදා වහන්සේ ගේ ප්‍රධාන ආරක්‌ෂක දෙවියකු ලෙස නාථ දෙවියන් සැලකේ. මහනුවර ඇසළ පෙරහැරේ දී ප්‍රධාන වූ දළදා පෙරහැරට පසුව දෙවනුව ගමන් කරන්නේ නාථ දේවාල පෙරහරයි. මීළඟට මෛත්‍රී නමින් බුදු වන්නේ නාථ දෙවියන් ය යන විශ්වාසයක්‌ මත පෙර සිට පැවත එන චාරිත්‍රයක්‌ වශයෙන් එදා සිට අද දක්‌වා ම ශ්‍රී දළදා පෙරහැරෙහි දළදා පෙරහැරට පසුව දෙවනුව ගමන් කරන්නේ නාථ දේවාලයේ පෙරහැරයි. තෙවනුව විෂ්ණු දේවාල පෙරහැර ද, සිව්වැනුව කතරගම දේවාල පෙරහැර ද, අවසාන වශයෙන් හෙවත් පස්‌වැනුව පත්තිනි දේවාල පෙරහැර ද වශයෙන් මහනුවර ඇසළ පෙරහැරේ සතර මහා දේවාල පෙරහැරවල් දළදා පෙරහැරට පසුව ගමන් කරනු ලැබේ. මේ අනුව සතර මහා දේවාලයන්හි පෙරහැර අතරින් නාථ දේවාල පෙරහැරට මහනුවර ඇසළ පෙරහැරේ දීත් මූලිකත්වය ලැබී ඇත. මේ කාරණා අනුව ඉතා පැහැදිලිව ම කිව හැක්‌කේ අපේ දළදාවහන්සේ රකින නාථ දෙවියන් බෞද්ධයන්ට අනුව ප්‍රධාන ශාසනාරක්‌ෂක දෙවියකු බවයි.

නාථ දෙවියන් සම්මා සම්බුද්ධත්වය සඳහා පාරමිතා පුරන බෝධිසත්වයකු බව පොත පතෙහි සඳහන් වේ. කාව්‍යශේඛරයේ මතු බුදු වන නාථ දෙවිඳුන්ට කැප වූ දේවාලයක්‌ තොටගමු විහාරයේ තිබූ බවක්‌ සඳහන් වේ. ගිරා සන්දේශය, තිසර සන්දේශය, කොවුල් සන්දේශය යන සන්දේශ කාව්‍යයන්හි ද බුද්ධත්වය සඳහා පාරමිතා පුරන නාථ දෙවියන් ගැන සඳහන් කරමින් කරන ලද විවිධ දේව වර්ණනා දැකිය හැකි ය.

බොහෝ දෙනෙක්‌ නාථ දෙවියන් යනු මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයන් ලෙසින් ම හඳුන්වති. එසේ ම තවත් පිරිසක්‌ නාථ දෙවියන් යනු මතු බුදු වීමට පෙරුම් පුරන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙස හඳුන්වති. කෙසේ වුවත් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ගැන ථෙරවාදී බෞද්ධ පොත් පත්වල වැඩි සඳහනක්‌ නැති නිසා මෙරට බෞද්ධයන් බහුතරයක ගේ අදහස නම් නාථ දෙවියන් යනු මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ම බවයි. එමෙන් ම මෙරට නාථ දෙවියන් වෙනුවෙන් ඉදි වූ ප්‍රකට දේවාල මහනුවර, බෙල්ලන්විල, තොටගමුව, වේගිරිය, පස්‌ගම, උරුලෑවත්ත, දාමිංගමුව ආදී වශයෙන් වූ සිද්ධස්‌ථානයන්හි පිහිටුවා ඇත. එම දේවාලයන්හි දී නාථ දෙවියන් උදෙසා සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන ප්‍රකට දේව කන්නලව්වක්‌ වේ. එම දේව කන්නලව්වේ එක්‌ පාඨයක නාථ දෙවියන් මතු බුදු වන්නේ නා බෝධියක්‌ මුල බව සඳහන් වේ. කුරුණෑගල යුගයේ ලියවුණු අනාගත වංශය නම් ග්‍රන්ථයට අනුව ද මීළඟට බුදු වන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බුදු වන්නේ ද "නා" බෝධියකින් සෙවණ ලබාගෙන බව සඳහන් වේ. මේ කාරණා අනුව නාථ දෙවියන් යනු මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බව පිළිගත හැකි ය. නාථ දෙවියන් තව්තිසා දිව්‍යලෝකයේ වැඩසිටින බව ද නාථ දේව කන්නලව්වේ මෙන්ම වෙනත් පොතපතෙහි ද සඳහන් වී තිබේ. එනමුත් සීහලවත්ථුවේ සඳහන් මෙත් බෝසත් කතාවක සඳහන් වන්නේ උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ වැඩවාසය කරන බවයි.

තව ද ඉපැරැණි දඹුලු ලෙන් විහාරයේ රජ මහා ලෙන තුළ පිහිටි බුද්ධ ප්‍රතිමාවේ එක්‌ පසෙක නාථ දේව හෙවත් මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක්‌ පිහිටුවා ඇත. මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවේ වමතින් නෙළුම් මලක්‌ දරා සිටීම සහ දකුණතින් විතර්ක මුද්‍රdව දැක්‌වේ. එමෙන් ම කළුතර දිස්‌ත්‍රික්‌කයේ පිහිටි මිල්ලදෙනිය-දාමිංගමුව නාථ දේවාලය ද වසර 1500ක පමණ ඉතිහාසයක්‌ ඇති නාථ දේවාලයක්‌ බව හඳුනාගෙන ඇත. මේ අනුව නාථ දේව යනු මෙරට බෞද්ධයන් අතර වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ම ප්‍රචලිත ව තිබූ දේව සංකල්පයකි. තව ද චූලවංශයට අනුව මෛත්‍රී බෝධිසත්ව පිළිම වන්දනාව ධාතුසේන රජතුමා ගේ (ක්‍රි. ව. 463-479) යුගයේ සිට ම පැවති බව හඳුනාගත හැකි ය. අනුරාධපුර යුගයේ විසූ පළමුවැනි දප්පුල රජතුමා (ක්‍රි.ව. 661-664) සහ පොළොන්නරු යුගයේ විසූ මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) ද මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමා ඉදි කරවූ බවට චූලවංශය සාක්‌ෂි දරයි. තව ද කුරුණෑගල යුගයේ දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රාජ්‍ය කාලයේ දී මෙත් බෝසත් චරිතය පිළිබඳව අනාගත වංශය නමැති ග්‍රන්ථය ලියෑවී ඇත. එමෙන් ම මහනුවර යුගයේ විසූ කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747-1782) රජු ගේ කාලයේ දී වර්තමාන කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පිහිටි රිදී විහාරයෙහි මෛත්‍රී බෝසත් ප්‍රතිමාවන් දෙකක්‌ ඉදි කොට තිබේ. මේ කරුණු කාරණා අනුව නාථ දේව ඇදහිල්ල මෙන්ම මෛත්‍රී බෝසත් වන්දනාව අනුරාධපුර යුගයේ සිට අද දක්‌වා ම පවතින බවට සාක්‌ෂි තිබේ.

මෑතක දී "මූකලන්ගමුවේ පඤ්ඤානන්ද" ස්‌ථවිරයන් වහන්සේ විසින් එළි දක්‌වන ලද "මෙත් බෝසත් බවට ගෞතම බුදුරදුන් ගෙන් විවරණ ලැබූ දුටුගැමුණු මහරජාණෝ" නම් වූ ග්‍රන්ථයක දුටුගැමුණු රජතුමා යනු මෛත්‍රී බෝධිසත්වයන් බව සාක්‌ෂි සහ සාධක සහිතව කරුණු දක්‌වා ඇත. කෙසේ නමුත් මහාවංශයේ තිබෙන පාලි පාඨයක දුටුගැමුණු රජතුමා අනාගතයේ දී පහළ වන්නා වූ මෛත්‍රී බුදුන්වහන්සේ ගේ දකුණත් සව් වන බව සඳහන් වේ. එහි ම ගැමුණු රජතුමා ගේ සොහොයුරා වූ සද්ධාතිස්‌ස රජතුමා මෛත්‍රී බුදුන් ගේ වමත් සව් වන බව ද, කාවන්තිස්‌ස රජතුමා මෛත්‍රී බුදුන් ගේ පියා වන බව ද, විහාර මහාදේවිය මව වන බව ද, සාලිය කුමරු පුත්‍රයා වන බව ද සඳහන් වේ. මේ මත දෙකෙන් කුමක්‌ සත්‍ය වුව ද මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයන්වහන්සේ මෙරට ඉතිහාසයේ ප්‍රකට ම රජ පවුලකට නෑකම් කියන බව පැහැදිලි ය. තව ද ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික වෘක්‌ෂය වන්නේ ද අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමේ දී පිට දෙන්නා වූ බෝධිය වන නා ගසයි. මේ සියලු කරුණු කාරණා අනුව මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයන් හෙවත් නාථ දෙවියන්ට ශ්‍රී ලංකා ද්වීපයට ඉතා ම කිට්‌ටු සම්බන්ධයක්‌ ඇති බව කිව හැකි ය.

අපවත් වී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් වරෙක කතරගම දෙවියන් දුටු බව දිවයින පුවත්පතේ කලකට පෙර උන්වහන්සේ විසින් ලියන ලද ලිපියක මෙන්ම උන්වහන්සේ ගේ චරිතාපදාන ග්‍රන්ථයක ද සඳහන් වී ඇත. ආනන්ද මෛත්‍රෙය හිමියන්ට අනුව කතරගම දෙවියන් සැම කලෙක ම එක ම පුද්ගලයෙක්‌ (දෙවියෙක්‌) නම් නො වේ. වැඩිදුරටත් පැහැදිලි කරතොත් කතරගම දේව යනු තනතුරකි. එනම් කතරගම දෙවි තනතුරට විවිධ දෙවිවරු කාලයෙන් කාලයට තම කුසලය අනුව පත් වෙති. තව ද බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වන ශක්‍ර දේව යන්න ද තනතුරක්‌ බව පැහැදිලිව පෙනී යන කාරණයකි. අප ගේ ගෞතම බුදුරජාණන්වහන්සේ පවා බෝධිසත්වයකු වශයෙන් පාරමිතා පුරන ලද පෙර භවයන්හි දී ශක්‍ර දෙවියන් බවට පත් වී සිටි බව පොතපතෙහි සඳහන් වී තිබේ. මහාවංශයේ සඳහන් සූවිසි විවරණ පාඨයකට අනුව අප ගේ බෝසතාණන්වහන්සේ ධම්මදස්‌සී නම් වූ බුදුන් ගේ කාලයේ දී ශක්‍ර දෙවියන් ව සිටිය දී අනාගතයේ බුදු වන බවට නියත විවරණ ලබා ඇත. ඒ අනුව අපට කිව හැක්‌කේ විවිධ පුද්ගලයන් (දෙවියන්) ශක්‍ර දේව තනතුරට පත් වන බවයි. එලෙස ම නාථ දේව යන්න ද තනතුරක්‌ බව අපට පිළිගත හැකි කාරණයකි. මේ අනුව ඇතැමුන් කියන පරිද්දෙන් නාථ දේව තනතුරට පෙර කලක දී අවලෝකිතේශ්වර බෝධිසත්වයන්වහන්සේ ද පත් වී සිටින්නට ඇත. පසු කලක දී මෛත්‍රී බෝධිසත්වයන්වහන්සේ නාථ තනතුරට පත් වූවා වන්නට ඉඩ ඇත. මිනිසුන් අතර මතු බුදු වන නාථ දෙවියන් ගේ අනන්‍යතාව පිළිබඳව මෙලෙස මත දෙකක්‌ ඇති වීමට නාථ දේව යන්න තනතුරක්‌ වීම ද හේතු වූ බව අනුමාන කළ හැකි ය.

රජරට වකුගඩු රෝගය පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලීය පර්යේෂක කණ්‌ඩායමේ විද්වතුන් ගේ ප්‍රකාශයන්ට අනුව මුලින් ම එම රෝගයට හේතුව සඳහා හෝඩුවාව ලබා දුන් මතු බුදු වන නාථ දෙවියන් ගේ ප්‍රධාන අපේක්‌ෂාව සතුන් නො මරා පන්සිල් රැකගනිමින් කරනු ලබන්නා වූ ගොවිතැනක්‌ සඳහා මෙරට ගොවි ජනතාව යොමු කිරීම ය. තව ද බුද්ධ ශාසනය සුරකින නාථ දෙවියන් මෙරට ජනතාව ආසනික්‌ වැනි වස විස කෑමෙන් මුදාගැනීමට මෙන්ම ධාර්මික ගොවිතැනකට හුරු කිරීමට දරන උත්සාහයන් යනු මෛත්‍රී බෝධිසත්වයන් වන උන්වහන්සේ මතු බුදු වීම සඳහා පුරන පාරමිතාවන් ම බව බෞද්ධ අපට නම් පිළිගැනීමේ කිසිදු අපහසුවක්‌ නැති බව ඉහත දැක්‌වූ කරුණු අනුව පෙන්වා දිය හැකි ය.